මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපියන් සහ දූදරුවන් අතර පවතින ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ, මෙම ව්‍යසනයේ බරපතළකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව දෙමාපියන් සෘජුව දැනුවත් කරමින්, දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා දෙමාපියන් සක්‍රීයව දායක කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි. තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ මඟපෙන්වීම අවශ්‍ය වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි අවස්ථාවලදී ගුරුවරුන් යොදාගන්නේ නම් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය බිඳදැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මත්ද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් පළමු සතියේදී කමිටුවට යොමු කර අනුමැතිය ලබාගෙන, ඔක්තෝබර් මාසයේ 03 වන සතිය වනවිට පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කිරීම හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත්, නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව දත්ත ඇතුළත් කිරීම් සක්‍රීය කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. එමඟින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සැලකිය යුතු පිරිසකට ඇප ලබාදීමට හැකිවීමෙන් බන්ධනාගාර තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

තවද, පොලීසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධ කෙරෙන මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් සහ මෘදුකාංගයක් නිර්මාණය කිරීම, 2025 අංක 07 දරන පනත ප්‍රකාරව රස පරීක්ෂක වාර්තා විද්‍යුත් තැපෑලෙන් අධිකරණයට යොමු කිරීම, ජාත්‍යන්තර පාසල් තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සමාජ මාධ්‍ය හරහා තරුණ පරපුර දැනුවත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීමට හඳුන්වා දුන් ‘1818’ දුරකථන අංකය සක්‍රීයව පවත්වාගෙන යාම මෙන්ම, යුද්ධයෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මතුව ඇති මත්ද්‍රව්‍ය අභියෝගය මැඩපැවැත්වීම හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික පූජකවරුන් ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.