ඉදිරි 2027 අයවැයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙම සමුළුව කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.

අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව, නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු, හරිත පරිසරයක් බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

‘පරිසර හිතකාමී නවෝත්පාදන’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන පාරිසරික හානිය අවම කිරීම, පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම, චක්‍රීය ආර්ථික ආකෘති සංවර්ධනය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, ප්ලාස්ටික් දූෂණය යනු හුදෙක් පාරිසරික ගැටලුවක් පමණක් නොව දේශගුණික අර්බුදය සමඟ සෘජුව බැඳී පවතින ගෝලීය අභියෝගයක් බවයි. නියාමනයකින් තොරව කසළ ගොඩගැසීම මහජන ජීවිතයට මෙන්ම පරිසරයට ද දැඩි තර්ජනයක් වී ඇති බැවින්, ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.