කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
නවීන මෙට්‍රො බස් සේවාවක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ 2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ වූ අතර, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට සුවපහසු පහත තට්ටු බස් රථ 100ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කෙරිණි. ඒ අනුව මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජය මඟින් ලබා දුන් බස් රථ 08ක් මෙලෙස අද සිට ධාවනයට එක් කර තිබේ. කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම මෙම නව බස් සේවාව ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණකි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්ථාපිත කරන ලද ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පුද්ගලික සමාගම (Lanka Metro Transit Pvt Ltd) මඟින් සේවාව මෙහෙයවනු ලබන අතර, කිලෝමීටර් 188.7ක සමස්ත දිගකින් යුත් ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ නියමිත කාලසටහනකට අනුව බස් රථ ධාවනය කෙරේ. නවීන බස් රථ සමූහ කළමනාකරණය, මගී තොරතුරු, ගාස්තු එකතු කිරීම සහ මෙහෙයුම් අධීක්ෂණය ඇතුළත් පූර්ණ ඩිජිටල්කරණ පද්ධතියේ සැලසුම් අවසන් කර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව බස් නැවතුම්පොළ පහසුකම් සංවර්ධනය කරමින් පවතී. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, අද සිට නාගරික ප්‍රවාහනය වෙනුවෙන් බස් රථ 122ක් පොදු ප්‍රවාහන සේවයට එක්වන බවත්, රජය පත්වී වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේ රටේ ගමන් මඟ පෙන්වන සංකේතයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දිය හැකි බවත්ය. නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය හා සමාන මට්ටමක පොදු ප්‍රවාහන සේවය ද පැවතිය යුතු බවට ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව, රුපියල් බිලියන හතහමාරක පමණ මුදලක් යොදවා දින 356ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය සාක්ෂාත් කරගත් බව අමාත්‍යවරයා පැවසීය.
ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ගෙන්වා යාපනය, මහනුවර සහ ගාල්ල නගරාන්තර සේවයට යෙදවීමට අපේක්ෂා කරන බවත්, Park & Ride ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා බස් නැවතුම්පොළ සමීපයේ රථවාහන ගාල් ස්ථාපිත කර දෙන ලෙස නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය. ජපාන රජය බස් රථ 8ක් ලබා දෙමින් දැක්වූ සහයෝගය අගය කළ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා චීනයේ සිදුකළ සංචාරයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රෝ සමාගමට තවත් බස් රථ 100ක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර ඇති බව ද අනාවරණය කළේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ආයතනයේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න, ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

