ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් හමුවේ ඉදිරි මාස තුන සඳහා රජය මඟින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉහළ යන මිල ගණන් පාලනය කරමින් සහන සැලසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
මෙහිදී භාණ්ඩාගාරය මඟින් මුදල් වෙන් කර ඇති ආකාරයට මෙම සහනාධාරය හිමිවන්නේ ඩීසල් සඳහා පමණක් බවත්, පෙට්‍රල් සඳහා එම සහනය හිමි නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉන්ධන මිල ඉහළ යාම මත පදනම්ව භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බැවින්ද, පසුව ඉන්ධන මිල අඩු කළ ද අදාළ භාණ්ඩ හා සේවා මිල එලෙසම අඩු නොවන පසුබිමක ජනතාව මත බර නොපටවා රජය මඟින් වැඩි කොටසක් දරා ගැනීමට මෙම පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නේය. මාසය අවසානයේදී ඉන්ධන මිල ගණනය කිරීමේදී රජය මඟින් දරන කොටස ලබා දෙන බවත්, ඉතිරි කටයුතු තෙල් සංස්ථාව ගණනය කර ප්‍රකාශ කරනු ඇති බවත් සඳහන් විය.
තවද, ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම විවිධ සමාගම් ද ඉන්ධන ගෙන්වා ඇති බැවින් රට තුළ තෙල් පෝලිම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ අවදානමක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගිය මාස 6ක කාලය සඳහා පමණක් ඉන්ධන වෙනුවෙන් භාණ්ඩාගාරය මඟින් රුපියල් බිලියන 100කට අධික මුදලක් ලබා දී ඇති බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.