පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය.

අක්කර 10.5ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරය මඟින් වාර්ෂිකව නිවාස 7,500ක පමණ විදුලි අවශ්‍යතාව සපුරාලනු ලබයි. එමෙන්ම වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් 6,440කින් පමණ අවම කරගැනීමට මින් හැකියාව ලැබෙන අතර, වාර්ෂිකව ඩීසල් මඟින් විදුලි උත්පාදනයට වැයවන ඉන්ධන ලීටර් මිලියන 2.5ක් ඉතිරි කරමින් රටට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 3ක විදේශ විනිමයක් ඉතිරි කරදීම ද මෙහි විශේෂත්වයකි.

දිය ජනනි පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉදිකර තිබීම කැපී පෙනෙන කරුණක් වන අතර, ඉදිකිරීම් කාලසීමාව තුළ ප්‍රදේශයේ පුද්ගලයින් 150 දෙනෙකුට පමණ රැකියා අවස්ථා උදා විය.

සමරු ඵලකය නිරාවරණය කර බලාගාරය ජාතික පද්ධතියට එක් කළ ජනාධිපතිවරයා, එහි පාලක මැදිරිය වෙත පැමිණ නිරීක්ෂණ කටයුතුවල ද නිරත විය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරුණු ප්‍රජා සත්කාර වැඩසටහන් රැසකට ද ජනාධිපතිවරයා සංකේතාත්මකව එක් විය. ඒ අනුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානය සඳහා විදුලි ජෙනරේටරයක් සහ ධර්ම ශාලාවේ කටයුතු වෙනුවෙන් රුපියල් 800,000ක් ද, ධීවර ප්‍රජාවගේ මඩ පොකුණු සකස් කරගැනීම සහ ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා රුපියල් 2,000,000ක් ද, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හරිත උද්‍යානයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් 1,000,000ක් ද පරිත්‍යාග කෙරිණි. මීට අමතරව ආනකටාව ප්‍රාථමික විදුහලේ සියලුම සිසුන්ට වසරකට අවශ්‍ය පාසල් උපකරණ ලබාගැනීමට රුපියල් 800,000ක් සහ වීර මොහාන් ජයමහ විද්‍යාලයේ ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් 400,000ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය නිලධාරීන් මෙන්ම WindForce PLC කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.