රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළ අතර, ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදා ද පැමිණිල්ලේ ලිඛිත දේශන ලබන 25 වනදා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට සහ විත්තියට නියම කෙරිණි.

මෙම නඩුකරය අද (18) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අල්ලස් චෝදනාවට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුකරයකට සැකකරු පෙරේදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව සඳහන් කළේය. මේ හේතුවෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම පරීක්ෂණය සිදු කරන බවත්, දූෂණ විරෝධී පනත ප්‍රකාරව නීතිපතිවරයාගේ සහය ඊට ලබාගන්නා බවත් ඔහු පැවසීය.

විමර්ශන ප්‍රගතිය දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, 2012 වසර දක්වා දිවෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ප්‍රකාශ කළේය. ඒ කථානායක නිල නිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සහ ශමින්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරු විදේශගතව සිටීම පිළිබඳවයි. මීට අමතරව සුසන්ත චමින්ද රත්නායක සහ දිමුතු සංජය යන අයගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති අතර, පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මියගොස් සිටින බවත් දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඕස්ට්‍රේලියාවට ද තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවට ද පලා ගොස් ඇති බවත් හෙළි විය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාර නාමල් රාජපක්ෂ සහ සාක්ෂිකාර නිමල් පෙරේරා සිටින ඡායාරූප හමුවී ඇති බවත්, දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සුවිශේෂී කරුණු නොමැතිව ඇප ලබාදිය නොහැකි බවත් පැමිණිල්ල අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, එයාර් බස් ගනුදෙනුව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවේ නාමල් රාජපක්ෂගේ නම සඳහන් නොවන බවත්, ඔහු රිමාන්ඩ් කර ඇත්තේ නිමල් පෙරේරා කළ ප්‍රකාශයක් මත පමණක් බවත් කියා සිටියේය. එමෙන්ම රිමාන්ඩ් භාරයේ සිටීම නිසා සැකකරුට,

ඉන්දීය රජයෙන් ලැබුණු සංචාරක ආරාධනයක් අවලංගු කිරීමට සිදුව ඇති බවත්, සැප්තැම්බර් 26 වන දින රාත්‍රී 7.42ට හඟුරන්කෙත විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් කර ඇති ආරාධනය ඉටුකිරීමට නොහැකි වීම උන්වහන්සේට කරන අගෞරවයක් බැවින්

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඊට දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය තීරණය කළ හැක්කේ නඩු විභාගයකදී පමණක් බවත්, ඉන්දීය සංචාරය හෝ විහාරස්ථානයක කොත තැන්පත් කිරීමට යාම කිසිසේත්ම ඇප ලබාදීමට සුවිශේෂී කරුණු නොවන බවත් පැවසීය. බුද්ධ දර්ශනය, අංගුත්තර නිකාය සහ සූත්‍ර පිටකය අනුව දූෂණයෙන් මිදී ධාර්මිකව කටයුතු කළ යුතු ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ නඩු තීන්දුවක පවා අවධාරණය කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, ‘වැලිගම බේ’ සිද්ධිය ඔස්සේ ද රුපියල් මිලියන 175ක සැකකටයුතු මුදලක් නිමල් පෙරේරාගේ ගිණුමට ලැබීම ගැන තවදුරටත් විමර්ශන කෙරෙන බැවින් සැකකරු රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නාමල් රාජපක්ෂ ලබන 29 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.