වතු ආශ්‍රිත පාසල් දියුණු කිරීම රජයේ ප්‍රධාන අධ්‍යාපන ඉලක්කයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් පැවති වතු පාසල් සංවර්ධන වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
සිසුන් සඳහා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී වතු ආශ්‍රිත පාසල් මුහුණ දෙන දුෂ්කරතා මෙන්ම සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගෙන, ඊට අදාළ සංවර්ධන සැලසුම් සකස් කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
වතු ආශ්‍රිත පාසල් සංවර්ධනය වෙනුවෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීම, ජාතික ක්‍රමෝපාය සහ සැලසුම් දෙපාර්තමේන්තුවේ (NPD) ආකෘතියට අනුව ව්‍යාපෘති යෝජනා සකස් කිරීම, වෘත්තීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය මුල්කරගත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් දැනුවත් කෙරුණු අතර, එම වැඩසටහන් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා හා අදහස් ද විමසීමට ලක් කෙරිණි.
මීට අමතරව ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් 34ක් සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම සහ පාසල් 23ක් සඳහා ආරක්ෂිත බිත්ති ඉදිකිරීම වැනි වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව ඇති ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීම් සිදු විය. එමෙන්ම ගුරු හිඟය පියවීම, ගුරු ධාරිතා සංවර්ධනය සහ ශිෂ්‍ය සුබසාධන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේ ඉදිරි පියවර පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමුව තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මලයගම් ප්‍රජාව සෑම ක්ෂේත්‍රයකින්ම ප්‍රජාවක් ලෙස ඉදිරියට පැමිණිය යුතු බව රජය විශ්වාස කරන බවයි. එසේම වතු ආශ්‍රිත ප්‍රදේශවලින් වැඩි වශයෙන් දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමේ සැලැස්මක් පවතින බැවින් ඒ සඳහා අදාළ ප්‍රදේශ ආශ්‍රිතව ගුරු විද්‍යාල සංවර්ධනය කළ යුතු බවත්, කොටගල ගුරු විද්‍යාලය ගොඩනැඟීම එම කර්තව්‍යයේ මූලික අරමුණක් බවත් ඇය පෙන්වා දුන්නාය.