කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු රජයෙන් ලබාදීමට නියමිත ඩොලර් මිලියන පහළොවක මූල්‍ය සහාය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා පවසයි. ඒ සඳහා ඉදිරි සති කිහිපය තුළ කොංග්‍රස් අනුමැතිය ලැබුණු වහාම මූල්‍ය සහාය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඇය සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලෝරා ඩිබෙල්ලා ප්‍රමුඛ නියෝජිත පිරිස සහ බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී ඇත. අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම සාකච්ඡාවට ෆෙඩරල් නාවික කොමිසමේ කොමසාරිස් රොබට් හාවි සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නෞකා වරාය තුළ රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කරන බව ද අමෙරිකානු නියෝජිත පිරිස සඳහන් කර ඇත. කොළඹ වරාය ශ්‍රී ලංකාවට පමණක් නොව අමෙරිකා එක්සත් ජනපදය හා සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැදගත් කේන්ද්‍රස්ථානයක් බැවින්, එහි සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට සූදානම් බව ද නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ ඉදිරි වරාය සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මර්චන්ට් ෂිப்பிං සෙක්රටේරියට් ආයතනය වඩාත් බලවත් අධිකාරියක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මේ අතර, කොළඹ වරායේ දෙවන බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා මූල්‍ය ආයතනවල සහාය ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ෆෙඩරල් නාවික කොමිසමේ සභාපති ලෝරා ඩිබෙල්ලා සැප්තැම්බර් නම වන දින සිට එකොළොස් වන දින දක්වා පැවැත්වෙන අටවන කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව ඇමතීමට නියමිත අතර, කොමසාරිස් රොබට් හාවි සාකච්ඡා මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඊට සහභාගී වීමට නියමිතය.