දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, කොළඹ අංක 02 අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙවීමේ පදනම මත සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු බඳවාගෙන තිබිණි. ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවයේ නොයොදවා රවී කරුණානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 37කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත. එම පත්වීම් ලැබූවන් අතර එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලීන ප්‍රාදේශීය දේශපාලනඥයෙකු සහ සිරිකොත මූලස්ථානයේ සේවය කළ අයෙකු සිටින බව සඳහන් වේ.

මෙම සිද්ධියට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමිලා පෙරේරා ජුනි 30 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබිණි. විමර්ශන සඳහා ප්‍රකාශ ලබාදීමට අවස්ථා 4කදී කළ කැඳවීම් මඟහැරීමෙන් පසු, අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි රවී කරුණානායකගෙන් පැය 3ක පමණ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී සැකකරු විමර්ශනවලට සහාය නොදක්වන බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවත් පවසමින් අල්ලස් කොමිසම ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජුනි 14 වනදා රජයේ මුදල් කාරක සභාවට සහභාගී වීම නිසා සහ දියණියගේ විවාහ උත්සව කටයුතු හේතුවෙන් සැප්තැම්බර් 01 න් පසු දිනයක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා තිබූ බව පැහැදිලි කළේය.

එසේම සිය සේවාදායකයාගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ කරුණු දැක්වූ නීතිඥවරයා, රවී කරුණානායකගේ හෘදයට ස්ටෙන්ට් 5ක් දමා ඇති බවත් තවත් ස්ටෙන්ට් එකක් දැමීමේ ඉහළ අවදානමක් පවතින බවත් සඳහන් කළේය. මීට අමතරව 2014 සිට ඔහු ස්ලීප් ඇප්නියා රෝගයෙන් පෙළෙන බැවින් ඊට අදාළ උපකරණය නොමැතිව නිදාගැනීමෙන් හෘදයාබාධ හෝ පෙණහලු ආබාධ ඇතිවිය හැකි බවත්, සෙලියුලයිටිස් නමැති බැක්ටීරියා ආසාදනය සහ පාලනය කළ නොහැකි දියවැඩියාව පවතින බවත් පෙන්වා දුන්නේය. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් ලබාගත් වෛද්‍ය වාර්තා සහ දිනපතා ලබාගන්නා ඖෂධ වට්ටෝරු ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර නඩුව නොවැම්බර් 03 වනදා යළි කැඳවීමට නියමිතය.