සමෘද්ධි බැංකු පද්ධතිය මෙරට ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රකාශ කර තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව තුළ පවතින යැපුම් මානසිකත්වයෙන් ඔවුන් මුදවා ගැනීම දෙපාර්තමේන්තුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන් කඩිනම් කිරීම සඳහා “ප්‍රජා සවියට නව බලයක්” යන තේමාව යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 21,000කට ආසන්න සේවක පිරිසක් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. එහි නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 28 වැනිදා නුවරඑළිය නව නගර ශාලා පරිශ්‍රයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ග්‍රාමීය මට්ටමින් ජනතාව සතු කුසලතා, දක්ෂතා සහ විභවතාවන් හඳුනාගෙන ඒවා වෘත්තීය මට්ටමට ඔප්නැංවීම මෙන්ම ප්‍රතිලාභීන් රාජ්‍ය ආයතන, බැංකු පද්ධතිය සහ අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධ කිරීමට මඟපෙන්වීම සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් පවතින අතර, රුපියල් බිලියන 800කට අධික මූල්‍ය වත්කම් ප්‍රමාණයක් සතුව පවතින බව ද සඳහන් විය. මෙම මූල්‍ය හා මානව සම්පත් උපයෝගී කරගනිමින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශය රටේ ශක්තිමත්ම ආයතනය බවට පත් කිරීම රජයේ අරමුණ බව වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු දේශපාලන නියෝජිතයන්, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.