මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරිනැමීමට නියමිතය.

මීට ඉහතදී සිදුකරන ලද ගවේෂණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පද්ධතියක් පවතින බවට තහවුරු වී තිබුණු බව අමාත්‍යාංශය පැවසීය. සාපේක්ෂව විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේෂණ සිදු කර නොමැති බැවින්, නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදාවන අතර දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද අවස්ථාව ලබා දෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා අද (25) පැවසීය.

එසේම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් (බැරල් කෝටි 200ක්) සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක (කෝටි ලක්ෂ 9ක) ප්‍රමාණයක් පවතින බව දැනට සිදුකර ඇති ගවේෂණ දත්ත අනුව විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. මෙම තෙල් සහ ගෑස් ප්‍රමාණයන් අනුව එහි වාණිජමය වටිනාකම ගණනය කළ හැකි බවත්, සැබවින්ම මෙම ඇස්තමේන්තුව වෙනස් විය හැකි අතර එම තෙල් සහ ගෑස් ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි බවත් ආචාර්ය නීල් ද සිල්වා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ, මෙම ගවේෂණයෙන් ලබාගන්නා ඛනිජ තෙල් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන ආනයන ගැටලුවට කදිම විසඳුමක් විය හැකි බවයි. එමෙන්ම එහිදී ලැබෙන අතිරික්ත ඉන්ධන අසල්වැසි රටවලට අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීමට ද හැකියාව පවතී. මෙම ආයෝජන කැඳවීම සඳහා මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000ක අක්වෙරළ බිම් කොටස් 4ක් වෙන් කර ඇති අතර, මීට පෙර සමාගම්වලට ලබාදීමේදී නීතිමය ගැටලු මතු වූ ප්‍රදේශ මෙම සීමාවට ඇතුළත් කර නොමැත. ඒ අනුව මෙම වසරේදී දළ වශයෙන් වර්ග කිලෝමීටර් 33,964ක ප්‍රදේශයක් කොටස් 4කට බෙදා බලපත්‍ර ප්‍රදානය කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය ආර්ථික වශයෙන් සාර්ථක වීම එක් අංශයක් පමණක් වන අතර, අනන්‍යතාවය සහ තාක්ෂණය මෙරටට කැඳවීම ඇතුළු සෙසු ක්ෂේත්‍ර රැසක් සමඟ මෙම ව්‍යාපෘතිය බැඳී පවතින බවයි. මෙම සංකීර්ණ ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ සුවිශේෂී අවස්ථාව උදා වී ඇති අතර, බලපත්‍ර ප්‍රදානය කිරීමේදී වඩාත්ම සුදුසු ආයෝජකයන් සොයා ගැනීම ප්‍රමුඛතම කාර්යය බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ඇතුළු පිරිසක් සහභාගී වූහ.