8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවේ සිටි කථානායක, නියෝජ්‍ය කථානායක, කාරක සභා සභාපති, නියෝජ්‍ය කාරක සභා සභාපති සහ පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිස අසීමිත ලෙස ඉන්ධන භාවිත කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක දැක්වේ.

මහින්ද යාපා අබේ­ව­ර්ධන කථානායක ධුරය දැරූ නව වැනි පාර්ලිමේන්තුවේ 2023 සහ 2024 අවසන් වර්ෂ දෙකේදී අසීමාන්තික ලෙස ඉන්ධන භාවිත කර ඇතැයි පසුගිය අගෝස්තු 18 වැනිදා නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂ දෙක තුළ කථානායකවරයා විසින් සාමාන්‍යයෙන් මාසිකව පිළිවෙළින් ඉන්ධන ලීටර් 3,994ක් සහ 6,122ක් භාවිත කර ඇති අතර, මෙම ලීටර් ප්‍රමාණයේ වර්ධනය 2022 වර්ෂයට සාපේක්ෂව පිළිවෙළින් 66%ක සහ 155%ක ප්‍රශ්නගත වර්ධනයකි.

ප්‍රශ්නගත 2023 වසරේදී කථානායකවරයා ඉන්ධන වෙනුවෙන් වාර්ෂිකව රුපියල් එක් කෝටි අනූ තුන්ලක්ෂ හැත්තෑ තුන් ලක්ෂ අටසිය හැට හයක්ද, 2024 වර්ෂයේදී රුපියල් දෙකෝටි හැට ලක්ෂ හතළිස් පන් දහස් එකසිය තුනකද වියදමක් දරා ඇත. එය අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී සැලකිය යුතු වැඩි වීමක් බව විගණන වාර්තාවේ දැක්වේ.

නව වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයාට නිල වාහන තුනක් සඳහා ලබා දී ඇති ඉන්ධනවලට අමතරව, ඔහුගේ පෞද්ගලික මෝටර් රථය සඳහා රුපියල් අසූ පහ ලක්ෂ හතළිස් පන්දහස් තිස් දෙකක් වටිනා ඉන්ධන ලීටර් 21,299ක් ලබාගෙන ඇති බව විගණනයේදී අනාවරණය වී තිබේ. 2024 වසරේදී නිල වාහන 2ක් සඳහා ද නියමිත ප්‍රමාණයට වඩා ඉන්ධන ලීටර් 1,515ක් ලබාගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත.

එසේම, ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පාර්ලිමේන්තුව නිශ්චය කළ යුතු පාර්මේන්තු මහ ලේකම්ගේ වැටුප සඳහා 2004 වර්ෂයෙන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැත. අනෙකුත් දීමනා සහ වේතනයන් ලබාදීමේදී 2004 නොවැම්බර් 30 දිනැති හැන්සාඩ් වාර්තාවේ සඳහන් පරිදි මහ ලේකම්වරයාගේ දීමනා ආයතන සංග්‍රහයට සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමි ප්‍රමාණයන්ගෙන් ලබාදිය යුතු බව දක්වා තිබුණ ද ඒ අනුව කටයුතු කර නොමැති බව විගණනයට නිරීක්ෂණය වී තිබේ.

2022 සහ 2024 අතර කාලය තුළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා රුපියල් 6,071,690ක් වටිනා ඉන්ධන ලීටර් 15,063ක් භාවිත කර ඇත. එහි වාර්ෂික සාමාන්‍යය ලීටර් 5,021ක් වන අතර එය රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන පරිභෝජනයක් ඇති අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා සසඳන විට ලීටර් 2,300ක් පමණ අතිරික්තයකි. මහ ලේකම්වරයාට ඉන්ධන සීමාරහිතව නිකුත් කර තිබූ අතර 9 වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් සහ අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සඳහා රාජකාරි ගමන් සඳහා සීමා රහිතව ඉන්ධන භාවිතයටත්, පෞද්ගලික ගමන් සඳහා කිලෝමීටර් 1200ක් සහ 960ක් දක්වා ඉන්ධන සැපයීමටත් කටයුතු කර ඇත.

මෙම නිලධාරීන්ට මෙන්ම පාර්ලිමේන්තුවෙහි සේවය කරනු ලබන අනෙකුත් නිලධාරීන්ට ද පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර ස්ථාපිත කරන ලද කාලපරිච්ඡේදයේ සිටම කිසිදු අය කිරීමකින් තොරව නිවසේ සිට පැමිණීමට සහ ආපසු යාම සඳහා වාර්ෂිකව සැලකිය යුතු වියදමක් දරමින් පහසුකම් සලසා ඇති බව විගණනය සඳහන් කරයි. ඒ අනුව ලිඛිත ගිවිසුමකින් තොරව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ නවයක්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය නොමිලේ ප්‍රවාහනය කිරීම සඳහා ගමනාන්ත 9ක් සඳහා යොදාගෙන තිබුණි. මේ සඳහා 2016 සිට 2024 දක්වා රජයට රුපියල් 335,663,253ක වියදමක් දරා ඇති අතර 2023 සහ 2024 වසරවල එහි වාර්ෂික සාමාන්‍යය රුපියල් මිලියන 60ක් පමණ වේ. ඊට අමතරව, 2021 ජුනි සිට 2024 දක්වා එම බස් රථ 9 හි රියදුරන් සහ සහායකයින්ගේ වියදම් සඳහා රුපියල් 5,887,210ක් වැය වී ඇත.

රාජ්‍ය මූල්‍ය සහ සේවක කළමනාකරණය වැනි කාරණාවලදී, වසර 70කට පමණ පෙර හඳුන්වා දී ඇති 1953 අංක 09 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම හෝ එම පනත අවලංගු කර සාමාන්‍ය නීතිරීතිවලට යටත්ව පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය සහ සේවක කළමනාකරණය කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ඇතුළු නිර්දේශ කිහිපයක් මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

8 වන සහ 9 වන පාර්ලිමේන්තුවල කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති සහ මහ ලේකම් වැනි තනතුරු දැරූවන් සඳහා ඉන්ධන සීමා පනවා නොතිබීම හේතුකොට ගෙන ඔවුන් සීමා රහිතව ඉන්ධන භාවිත කර ඇති බව වාර්තාවේ දැක්වේ.

8 වන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ලෙස තිලංග සුමතිපාල, ආනන්ද කුමාරසිරි, නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස සෙල්වම් අඩෛක්කලානාදන් සහ පාර්ලිමේන්තු මහ ලේකම් ලෙස ධම්මික දසනායක කටයුතු කර ඇත.

9 වන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේ­ව­ර්ධන, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ලෙස රංජිත් සියඹලාපිටිය, අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තු මහ ලේකම් ලෙස ධම්මික දසනායක සහ කුෂාණි රෝහණධීර කටයුතු කර තිබේ.

නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කරමින් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරක් ලෙස හඳුනාගෙන කටයුතු කිරීමට අනුමැතිය ලබාදී තිබියදීත් එම තනතුරු සඳහා ද සීමා රහිත ලෙස ඉන්ධන නිකුත් කර ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.