යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විවෘතව අදහස් පළ කිරීම ආරම්භ කර තිබේ.

මෙතෙක් මෙම සංශෝධනය පිළිබඳව විවෘතව අදහස් පළ නොකළ මොවුන් දෙදෙනා ඊයේ (21) සිය නිහඬතාව බිඳ දැමීමට පියවර ගත්හ. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම උචිත නොවන බවයි.

මේ අතර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දක්වා තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මුලින්ම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පමණක් යෝජනා කර තිබූ බවත්, ඉන් අනතුරුව විවිධ අවස්ථාවලදී සෙසු සංශෝධන ඊට එක් කළ බවත්ය. කෙසේ වෙතත්, සත්‍ය තත්ත්වය වන්නේ අදාළ සංශෝධන පිළිබඳව අවස්ථා කිහිපයකදීම රැස්වී විවිධ අංශ සමාලෝචනය කිරීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත සකස් කර ඇති බවයි.

එහෙත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් සහ විපක්ෂය ඒකාබද්ධව මුලදී ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුවරයාගේ විශ්‍රාම වයස දීර්ඝ කරමින් අධිකරණයට බලපෑම් කිරීමට රජය සූදානම් වන බවයි. එවැනි ප්‍රචාරයන්ට සමාන ලෙස අදහස් දැක්වීමට මේ වන විට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද එක්ව සිටී. 2022 මහජන අරගලයේදී දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට නැඟුණු තාරුණ්‍යයේ සටන් පාඨ වෙනුවෙන් පෙනී සිටි ඔහු, මෙලෙස ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මත දැක්වීමට එක්වීම දේශපාලන කරළියේ කතාබහට ලක්ව තිබේ.