ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරිය ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අද (21) කතාබහක් නිර්මාණය විය. විශේෂයෙන්ම පසුගිය 19 වන දින පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නීතිඥ සංගමයට තර්ජනය කළ බවට එම සංගමය විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කළ නිවේදනය මෙලෙස විවේචනයට ලක්ව තිබේ.
මෙම නිවේදනය හරහා මෙරට සැබෑ තත්ත්වය විකෘති කර ජාත්‍යන්තර සංවිධාන වෙත වැරදි චිත්‍රයක් ලබාදීමට උත්සාහ කර ඇති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. වත්මන් රජය නීතිඥ සංගමයට පවා තර්ජනය කරන බවට ජාත්‍යන්තරය හමුවේ කරුණු දැක්වීම තුළින් GSP+ වැනි සහන අහෝසි වීමේ අවදානමක් පවතින බවට ද දේශපාලන කරළියේ මත පළ වේ.
මේ සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් ප්‍රකාශ කළේ, මෙවැනි ක්‍රියාවන් හරහා මෙරට ජාත්‍යන්තර ප්‍රතිරූපයට සිදුවන බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.