මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) කොළඹදී ආරම්භ විය.

වැඩමුළුවේ ආරම්භක අවස්ථාව අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පෙන්වා දුන්නේ, දැනට පවතින සමූපකාර පනතේ නීතිමය අඩුපාඩු සපුරා ගනිමින් සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැඟිය යුතු බවයි. පවතින නීතිමය හිස්තැන් භාවිත කරමින් සිදුවන නීතිවිරෝධී ක්‍රියා හා වංචා වැළැක්වීම මෙන්ම මහජනතාව තැන්පත් කරන මුදල්වල සුරක්ෂිතතාව නීතිය මගින් තහවුරු කිරීම නව පනත කෙටුම්පත් කිරීමේ මූලික අරමුණ බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව නව පනත සම්පාදනය සඳහා වන සංකල්ප පත්‍රිකාව දැනටමත් සකස් කර ඇති අතර, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ, සමූපකාර කොමසාරිස්වරුන්ගේ සහ විෂය භාර නිලධාරීන්ගේ අත්දැකීම් හා යෝජනා ද ඊට ඇතුළත් කර ගනිමින් නීති කෙටුම්පත් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම මෙම වැඩමුළුව මගින් අපේක්ෂා කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මෙසේ ද පැවසීය:
“අපේ අරමුණ නව සමූපකාර නීතියක් සම්පාදනය කිරීමයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශය වගේම සමූපකාර ව්‍යාපාරය එක් ශක්තිමත් කුළුණක් ලෙස ගොඩනැඟීම අපේ ආණ්ඩුවේ අරමුණයි. එසේ ගොඩනැඟීමේදී සමූපකාරය ඇතුළේ සැලකිය යුතු ප්‍රශ්න මතුවෙනවා. ඇතැම් සභාපතිවරුන් සිදුකර ඇති මහා පරිමාණ වංචා නිසා ඔවුන්ට සදහටම හිරේ සිටීමට සිදුවන තත්ත්වයක් පවතිනවා. මෙම නීති හදන්නේ සමූපකාරය විශ්වාස කර මුදල් තැන්පත් කළ ජනතාවගේ විශ්වාසය මෙන්ම මුදල් ද ආරක්ෂා කරදීමටයි. පවතින නීතිවල අඩුපාඩු හා හිස්තැන් භාවිත කරමින් අතීතයේ කුමක් සිදුවුවත්, මෙතැන් සිට හෝ මෙය ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා.”

මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සමුපකාර ලේකම්වරුන්, පළාත් කොමසාරිස්වරුන් ඇතුළු සමූපකාර නිලධාරීහු එක්ව සිටියහ.