සජිත්, රනිල් සහ නාමල් ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද ගල් අඟුරු මඩ ප්‍රචාරය, අවසානයේ ඔවුන්ගේම පැරණි පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් කරමින් ඔවුන් වෙතටම එල්ල වන දේශපාලන පාරාවළල්ලක් බවට පත්ව තිබේ.

වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ගෙන ගිය ප්‍රහාරයන්ට පිළියමක් ලෙසත්, ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයකට ඉඩ සලසමින් ආදර්ශයක් ලබාදීමටත් ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව, මෙරට ගල් අඟුරු ආශ්‍රිත විදුලි උත්පාදනයේ ආරම්භයේ සිට සිදුව ඇති සියලු ටෙන්ඩර් අක්‍රමිකතා සහ මහා පරිමාණ ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත්, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්නගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව හමුවේ පසුගිය පාලන සමයන්හි බලශක්ති විෂය භාරව කටයුතු කළ ප්‍රධානීන් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටිති.

ඒ අනුව, හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගෙන් ඊයේ (14) පැය පහකට අධික කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් පෙරේදා (13) දිනයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.. මීට පෙර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ද සාක්ෂි ලබාගෙන තිබිණි..

මේ වන විට පුද්ගලයින් 150කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි හා ප්‍රකාශ සටහන් කරගෙන ඇති කොමිෂන් සභාව, ඉදිරි දිනවලදී තවත් පිරිසක් කැඳවීමට තීරණය කර ඇත. මෙම විමර්ශනයේ අවසන් වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති අතර, ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට ගිය විපක්ෂයේ ප්‍රබලයන්ට සිය අතීත ගනුදෙනු හමුවේ නීතිය ඉදිරියේ පිළිතුරු බැඳීමට සිදුවන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ.