අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉලක්ක කර ගනිමින් එල්ල වන අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනුගමනය කරන නිහඬතාව දැඩි විවේචනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ ජගත් අබේනායක මෙම කරුණ ප්‍රශ්න කර ඇත.

විගණකාධිපති පත්වීම ප්‍රමාද වීම වැනි සිය විෂය පථයෙන් බැහැර කරුණු සම්බන්ධයෙන් මීට පෙර නිවේදන නිකුත් කිරීමට තරම් සංවේදී වූ නීතිඥ සංගමය, අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් සිදුවන මෙම ප්‍රහාර හමුවේ මෝනතාවක් රැකීම පරස්පර විරෝධී බව ජගත් අබේනායක සිය ලිපිය මගින් පෙන්වා දෙයි. අගවිනිසුරුවරයාට එරෙහිව දියත් වන මෙම සංවිධානාත්මක ප්‍රචාර පිළිබඳව සංගමයේ සාමාජිකයෙකු ලෙස සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද ඔහු සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

රජය විසින් ඉදිරිපත් කර ඇති අධිකරණ පද්ධතියේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය ජූලි 04 වැනිදා විශේෂ මහා සභාවක් කැඳවීමට ද නීතිඥ සංගමය කටයුතු කර තිබුණි. එම සභාව සඳහා විපක්ෂ නායක සජිත් පේමදාස ඇතුළු දේශපාලන කණ්ඩායම් ආරාධිතයන් ලෙස සහභාගී කර ගැනීම හරහා සංගමය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන බවට චෝදනා එල්ල විය. එවැනි කටයුතුවලදී අතිශය ක්‍රියාකාරී වන නීතිඥ සංගමය, අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව බලපාන අගවිනිසුරුවරයාට එරෙහි ප්‍රහාර හමුවේ නිහඬව සිටීම පුරවැසියන්ගේ මෙන්ම නීතිඥ ප්‍රජාවගේ ද දැඩි අවධානයට ලක්ව ඇත.