අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන අතර, එය ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය පදනමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය 24 වනදා කොළඹදී ආරම්භ වූ “කොළඹ සාහිත්‍ය උළෙල” අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ජූලි මාසය යනු රටේ වේදනාකාරී ඓතිහාසික අත්දැකීම් සිහිපත් කරන කාලයක් බව පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම 1981 වසරේ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීම වැනි සිදුවීම් කිසිදා අමතක නොකළ යුතු බවත්, දැනුම, මතකය සහ ඉතිහාසය ආරක්ෂා කිරීමේදී පොත්පත්, ලේඛකයින් සහ ප්‍රකාශකයින් ඉටු කරන කාර්යභාරය අගය කරන සංස්කෘතියක් රට තුළ ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඇය පැවසුවාය.

අතීතයේ වැදගත් සිදුවීම් පිළිබඳව අනාගත පරම්පරාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නිල ආඛ්‍යානයන් මඟින් මතකයන් මකා දැමීමට හෝ නොසලකා හැරීමට උත්සාහ කරන අවස්ථාවලදී, අතීතයේ ජීවමාන සාක්ෂි ලෙසත්, විනාශයන්ගෙන් පසු නැවත නැගී සිටි මිනිසුන්ගේ කතා සුරක්ෂිත කරන මූලාශ්‍ර ලෙසත් සාහිත්‍යය සහ පොත්පත් පවතින බව පෙන්වා දුන්නාය.

ඩිජිටල් තාක්ෂණය සහ ක්ෂණික තොරතුරු හුවමාරුව ප්‍රමුඛ වන වර්තමාන යුගයේදී වුවද, නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතාව ද ඇය පැහැදිලි කළාය. රජයක් ලෙස අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, දැනුම, නිර්මාණශීලීත්වය සහ නිදහස් ප්‍රකාශනය අගය කරන සමාජයකට නවෝත්පාදනයන් සිදු කිරීමටත්, අභියෝගවලට මුහුණ දීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් වැඩි හැකියාවක් පවතින බව ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ඉන්දීය ලේඛක, දේශපාලනඥ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික ශෂී තරූර් ඇතුළු තානාපති නියෝජිතයින්, දෙස් විදෙස් ලේඛකයින්, ප්‍රකාශකයින්, කවියන්, විචාරකයින් සහ විද්වතුන් රැසක් සහභාගී වූහ. ජූලි 24 සිට 29 දක්වා දින හයක් පුරා “කොළඹ සාහිත්‍ය උළෙල” පැවැත්වේ.