රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම උදෙසා ඉහළම අස්වැන්නක් නෙළාගනිමින් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ගොවි ජනතාව ඇගයීමට ලක්කිරීමේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ උත්සවයක් පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, සිය අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබාගනිමින් ජාතික නිෂ්පාදනයට දායක වූ ගොවීන් රැසකට උපහාර පුද කෙරිණි.

“අක්කරයකට වී බුසල් 80ක් ලැබෙන බවට සමාජයේ මතයක් පවතිනවා. නමුත් අද වන විට අක්කරයකට වී බුසල් 150 ත් 160 ත් අතර ප්‍රමාණයක් ලබාගන්නා ගොවීන් 25 දෙනෙක්, බුසල් 160 ත් 170 ත් අතර ලබාගන්නා ගොවීන් 98 දෙනෙක්, බුසල් 170 ත් 180 ත් අතර ලබාගන්නා 35 දෙනෙක් සහ බුසල් 180 ත් 190 ත් අතර ලබාගන්නා ගොවීන් 11 දෙනෙක් මෙම පිරිස අතර සිටිනවා. එමෙන්ම අක්කරයකට වී බුසල් 200කට වඩා ලබාගන්නා එක් ගොවියෙකුත් මෙහි සිටිනවා. මොවුන් සැබවින්ම ජාතික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වීරයන්” යැයි එහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

වත්මන් රජය ගොවි ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔවුන්ගේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය 1960 දශකයේ අගභාගයේදී සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1970-1975 කාලයේදී අක්කරයකට වී බුසල් 80ක අස්වැන්නක් ලබාගත හැකි බවට නිර්දේශ කර තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිසි වාරි කළමනාකරණය, දෙමුහුම් බීජ, වල් මර්දනය සහ නිවැරදි පොහොර භාවිතය තුළින් එම අස්වැන්න ළඟා කරගත හැකි බව එකල තීරණය කර තිබූ බව සිහිපත් කළේය.

කෙසේ වෙතත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය තවමත් වී කිලෝවක පිරිවැය ගණනය කිරීමේදී අක්කරයකට වී බුසල් 80 සීමාවේ තබා ගණන් හදන බවත්, ඒ අනුව නාඩු 120කට, සම්බා 130කට සහ කීරි සම්බා 140කට මිල නියම කරන බවත් පැවසූ අමාත්‍යවරයා, වර්තමානයේ සාමාන්‍ය අස්වැන්න මීට වඩා වැඩි බැවින් එම දත්ත යාවත්කාලීන විය යුතු බව ප්‍රකාශ කළේය. දැනට පවතින තත්ත්වය අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120ක මුදලක් ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය.

වී සහ සහල් මිල නිතර වෙනස් වීම නිසා ගොවියා මෙන්ම පාරිභෝගිකයාද සූරාකෑමට ලක්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික ප්‍රතිපත්තියක් ලෙස වී මිල ස්ථාවර කිරීමට පියවර ගන්නා බව පැවසීය. වී මිල ස්ථාවර වීමත් සමඟ සහල් මිලද ස්ථාවර වන බවත්, ලියදි ලොකු කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කෘෂි රසායනික සඳහා සහනයක් දීමටත්, ඉදිරි අයවැයෙන් පොහොර සහනාධාරය තවදුරටත් වැඩි කිරීමටත් බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, පිරිවැය අඩු කරමින් හැකි උපරිම අයුරින් ගොවියාට සහන සැලසීමට රජය බැඳී සිටින බව වැඩිදුරටත් පැවසීය.

ජාතික වශයෙන් අක්කරයකින් ලබාගන්නා අස්වැන්න අවම වශයෙන් වී බුසල් 100ක් දක්වා වැඩි කරගත යුතු බව පැවසූ අමාත්‍යවරයා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් කීරි සම්බා සඳහා වර්තමානයේ විශාල ඉල්ලුමක් පැවතියද ඊට සරිලන නිෂ්පාදනයක් නොමැති බවද සඳහන් කළේය. එමෙන්ම සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය බාස්මතී සහල් තවමත් විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව ඇති බවත්, එම තත්ත්වයන් වෙනස් කරමින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.