“දූෂිතයන් සහ හොරුන් සමඟ කිසිසේත් එක් නොවන බවට” මින් පෙර මහජනතාව හමුවේ දිගින් දිගටම ප්‍රතිපත්තිමය ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වත්මන් රජයට එරෙහිව දේශපාලන බලය ගොඩනැගීම සඳහා එම පිරිස් සමඟම අත්වැල් බැඳගෙන සිටින්නේ ඇයිද යන බරපතළ ප්‍රශ්නය දේශපාලන ක්ෂේත්‍රය තුළ මතු වී තිබේ.
පසුගිය 24 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාව මීට හොඳම උදාහරණයයි. මීට පෙර විවිධ දූෂණ චෝදනා සහ විවේචනවලට ලක්වූ, තමන් විසින්ම මින් පෙර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහ මෙන්ම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සමඟ එකම මේසයක වාඩි වී සාකච්ඡා කිරීමට සජිත් කටයුතු කළේය. රජයට පහරදීමේ අරමුණින් පමණක්, තමන් මින් පෙර “දූෂිතයන්” ලෙස හැඳින්වූ පිරිස් සමඟ මෙලෙස සන්ධානගත වීම ඔහුගේ දේශපාලන අවස්ථාවාදය මැනවින් පෙන්නුම් කරන්නකි.
සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රතිපත්ති විරහිත දේශපාලන ක්‍රියාවලියට උතුරෙන් ලැබුණේ දැඩි ප්‍රතිචාරයකි. මෙම හමුවට එක්වන ලෙස සජිත් අවස්ථා කිහිපයකදීම ආරාධනා කළද, දෙමළ ජාතික සන්ධානය හෝ එහි නායක එම්.ඒ. සුමන්තිරන් ඊට සහභාගි වීම සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත.
පටු ජාතිවාදී සහ අවස්ථාවාදී පක්ෂ සමඟ එකට වාඩි වී සාකච්ඡා කිරීමට තමන්ට නොහැකි බවත්, එසේ කිරීම තම දේශපාලනය අනතුරේ හෙළීමක් බවත් පවසමින් සුමන්තිරන් සජිත් වෙත සෘජු ප්‍රහාරයක් එල්ල කර තිබේ. දකුණේ දේශපාලකයන්ට තමන් කළ දේවල් ඉක්මනින් අමතක වුවද, අතීත පාලකයන්ගෙන් බැටකෑ උතුරේ ජනතාවට තවමත් සියල්ල මතක බව සුමන්තිරන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
තමන් මින් පෙර ප්‍රතික්ෂේප කළ “දූෂිත” සහ “ජාතිවාදී” බලවේග සමඟ වත්මන් ආණ්ඩුවට පහරදීම සඳහා පමණක් සජිත් ප්‍රේමදාස මෙලෙස අත්වැල් බැඳගැනීම, ඔහුගේ ප්‍රතිපත්තිගරුකභාවය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය මුළුමනින්ම බිඳදමන්නක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.