“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” (Towards a Dengue-Free Colombo) යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික වැඩසටහන් මාලාවේ සිව්වැනි දිනය සාර්ථකව නිම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දී තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්ෂක අංශය එක්ව මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
පසුගිය 08 වැනිදා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් පනහකට (50) අධික පිරිසක් සහභාගි වූහ. ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් සමඟ එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අවට, රාජගිරිය, මහර, වත්තල, බොරැල්ල, කෝට්ටේ, වැලිසර සහ පානදුර යන ප්‍රදේශවල පිහිටි ස්ථාන පනහක් (50) පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන එක්දහස් හත්සිය තිහක් (1,730) හඳුනාගෙන ඒවා පිරිසිදු කර විනාශ කිරීමට පියවර ගෙන තිබේ. මෙයට සමගාමීව ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් එකසිය හැටක් (160) ද ක්‍රියාත්මක කෙරිණි.
මෙම මර්දන වැඩසටහන්වලට අමතරව, නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාප බවට පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මඟින් ද අඛණ්ඩව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.