හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු පිරිසක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් කප්පම් ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක, පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පත් කර ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේම විජේදාස රාජපක්ෂගේ නිවසට ගොස් සාකච්ඡා පවත්වා තිබේ.

මෙම ආන්දෝලනාත්මක කප්පම් ගැනීම සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේදී සහ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2023 වසරේ මුල් කාලයේදීය. රඛිත රාජපක්ෂ ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යය බලා ගොස්, ‘හරක් කටා’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තකගෙන් රුපියල් කෝටි 12ක කප්පමක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

මෙම කප්පම් ගැනීමේ සිදුවීමට සමගාමීව, එවකට අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස රාජපක්ෂ ද ඩුබායි රාජ්‍යයට ගොස් සිටි බවට සාක්ෂි හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ 2023 වසරේ අගභාගයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, ඩුබායි රාජ්‍යයේ පිහිටි ඇමරිකානු රෝහලකින් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා තමන් එහි නේවාසිකව සිටි බවයි. රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනා අදාළ රෝහලට පැමිණ තමා හමු වූ බව ද විජේදාස රාජපක්ෂ එහිදී පිළිගෙන තිබේ.