ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා වන සමස්ත නීතිමය පද්ධතියම ශක්තිමත් කරමින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත් තුනක් අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මෙම පනත් කෙටුම්පත් තුන එකිනෙකින් ස්වාධීන වුවද, රට තුළ මූල්‍ය අපරාධ මර්දනය කිරීමේදී එකිනෙකට අනුපූරක වන පරිදි සකස් කර ඇති බව අදාළ මූලාශ්‍ර සඳහන් කරයි.

අද දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ප්‍රධාන සංශෝධන පනත් කෙටුම්පත් මෙසේය:

  • මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත:
    සැක සහිත මූල්‍ය ගනුදෙනු කලින් හඳුනාගෙන ඒවා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත වාර්තා කිරීමේ පූර්ව වැළැක්වීමේ පද්ධතිය සහ යාන්ත්‍රණය මෙමඟින් වඩාත් ශක්තිමත් කෙරේ.
  • මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත:
    ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් මුදල් විශුද්ධිකරණ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, නඩු පැවරීම මෙන්ම අපරාධ මඟින් උපයාගත් වත්කම් රජයට පවරා ගැනීම සඳහා වන නීතිමය බලතල පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
  • ත්‍රස්තවාදී මූල්‍යකරණය මර්දනය කිරීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත:
    ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල්, දේපළ සහ වෙනත් වත්කම් භාවිත කිරීම වැළැක්වීම වෙනුවෙන් දැනට පවතින විශේෂ අපරාධ නීති රාමුව තවදුරටත් බලගැන්වීම මෙමඟින් සිදුවේ.

මෙම සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට මූල්‍ය ආයතන, මූල්‍ය බුද්ධි ඒකකය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අධිකරණය මෙන්ම ජාත්‍යන්තර හවුල්කාර සංවිධාන අතර පවතින සබඳතාව සහ සම්බන්ධීකරණය වඩාත් දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම අපරාධ ආදායම් හඳුනාගැනීමේ සිට ඒවා රාජසන්තක කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව සිදු කිරීමට මෙම නව පනත් සංශෝධන හරහා මඟපෑදෙනු ඇති බව ද වාර්තා වේ.