දැනට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර කිහිපය තුළ සියයට 7ත් 8ත් අතර මට්ටමක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙම ඉලක්කය ජය ගැනීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක මුදලක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේය. එම ආයෝජන හරහා ඇතිවන ඩොලර් ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රයේ උපරිම දායකත්වය අවශ්‍ය බවත්, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවලින් පුළුල් විදේශ විනිමය ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම තුළින් රටේ අනාගතය සුරක්ෂිත කළ හැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සතු සැබෑ ආර්ථික විභවතාව ජය ගැනීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලු ව්‍යවසායකයන්ට ආරාධනා කළේය. තවද, ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ යෝජනා ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී කර්මාන්තකරුවන්ට දැනුම් දුන්නේය.