අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 232 දෙනෙකු විවිධ විදෙස් රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය. ඉන් පුද්ගලයින් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවට හඳුනාගෙන ඇති බවත්, ඉන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය මාස 20ක කාලසීමාව තුළ සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා ද, තවත් පුද්ගලයින් 35 දෙනෙකු රතු නිවේදන නොමැතිව ද වශයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මෙරටට රැගෙන ඒමට බලධාරීන් සමත් වී ඇති බවයි.

විදෙස් රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනා අතරින් 37 දෙනෙකු දැනට සිටින රටවල් නිශ්චිතව හඳුනාගෙන තිබේ. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 19ක්, ඉන්දියාවේ 11ක්, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය සහ සෞදි අරාබිය යන රටවල එක් අයෙකු බැගින් සිටින බව වාර්තා වේ. මොවුන් මැදපෙරදිග කලාපයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධානීන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේ අපරාධකරුවන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. ඔවුන්ගේ දෙවැනි සහ තුන්වැනි පෙළ ජාලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මෙම ජාවාරම් හරහා උපයා ගන්නා අනීතික ධනය හා දේපළ රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් පවතිනවා” යැයි අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් අවධාරණය කළේය.