සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔහුට වාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (25) අධිකරණය හමුවේ අනාවරණය කළේය.

කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ, නීතිඥ අනුෂා සම්බන්ධපෙරුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ අනුෂා සම්බන්ධපෙරුම පවසා සිටියේ, මෙම නඩුවේ දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂගේ පියා වන විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන බවයි. මෙම අල්ලස් ගනුදෙනුවට අදාළව විජේදාස රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා ගොස් ඇති බවට වාර්තා වී ඇති බව ද සහකාර අධ්‍යක්ෂවරිය එහිදී අනාවරණය කළාය.

සිද්ධියට අදාළ විමර්ශන තොරතුරු අනුව, ‘හරක් කටා’ ට වාසි සහගත ලෙස කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂ 2,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂ 1,200ක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම මෙම කරුණු අනාවරණය කළේය.