කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 210 දෙනෙකු සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය ඊයේ (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මෙරට හෙද සේවාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ කරුණු රැසක් අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ 2030 වර්ෂය වන විට හෙද සේවාව සඳහා පුද්ගලයන් 13,600 දෙනෙකු බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බවයි. එම ඉලක්කයෙන් 50%ක් මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී හෙද හෙදියන් 2,847කට ද, 2028 මාර්තු මාසයේදී 1,949කට සහ එම වසරේ අගෝස්තු මාසයේදී 2,920කට ද පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

හෙද සේවාව ගෞරවනීය වෘත්තියක් ලෙස අගය කළ අමාත්‍යවරයා, හෙද නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව සිහිපත් කළේය. තවද, අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන හෙද විදුහල් සියල්ල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙරට ප්‍රථම හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසීය. 2021 කණ්ඩායමේ මෙම සිසුන් තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලැබීමට පෙර හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීමේ සිහිනය සැබෑ වනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සැලසුම් සහගතව ලබාදීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ මෙම උත්සවයේදී, විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.