ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ඩේලි මිරර් (Daily Mirror) පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති පුවත සහමුලින්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව රජය නිල වශයෙන් නිවේදනය කරයි. “Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD” යන සිරස්තලයෙන් පළ වූ එම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති බවත්, එය දෙපාර්ශවය අතර පැවති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමක් බවත් රජය අවධාරණය කර සිටියි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුවේදී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමේ ක්‍රිකට් වැඩසටහන් ශක්තිමත් කිරීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාත්‍යන්තර අවස්ථා විවර කර දීම පිළිබඳව පමණි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ICC සභාපති ජේ ෂා යන දෙදෙනාම සිය නිල ‘X’ (පෙර ට්විටර්) ගිණුම් ඔස්සේ මෙම කරුණු නිල වශයෙන් තහවුරු කර තිබේ.
අදාළ පුවත්පත වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදු ලේඛනගත කිරීමේ තර්ජනයක් හෝ නිලවරණය සම්බන්ධ කිසිදු අවසාන නිවේදනයක් මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වී නොමැති බව රජය පෙන්වා දෙයි. වගකීම් සහගත මාධ්‍ය භාවිතයකින් තොරව මෙවැනි ප්‍රබන්ධිත පුවත් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතුවක් වනු ඇත.
මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් රජය නිකුත් කර ඇති නිවැරදි කිරීම ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ සාවද්‍ය වාර්තාව මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණවලින් වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතට දැනුම් දී තිබේ.