මෙරට පාසල් දරු පරපුරේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සීඝ්‍රයෙන් වර්ධනය වන බෝ නොවන රෝග අවදානම පාලනය කිරීම අරමුණු කරගනිමින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 2026 ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ සැමරුම් උළෙල කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙනි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සකස් කරන ලද මෙම නව මාර්ගෝපදේශය හරහා ප්‍රධාන අරමුණු පහක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිතය. බෝ නොවන රෝගවලින් තොර නිරෝගී දරු පරපුරක් බිහිකිරීම, පෝෂ්‍යදායී ආහාර සැපයීම, නිවැරදි ආහාර පුරුදු පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීම සහ ආපනශාලාවල සනීපාරක්ෂාව සහතික කිරීම එම අරමුණු අතර වේ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේ, වර්තමානයේ උද්ගතව ඇති පෝෂණ අර්බුදයට විසඳුම් සෙවීමේදී රජය අතිශය දැඩි තීරණවලට එළඹෙන බවයි. විශේෂයෙන්ම ආහාර සම්බන්ධ නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී, පාසල් ව්‍යාපෘති සඳහා අනුග්‍රහකත්වය දැක්වූ ඇතැම් ආහාර සමාගම් එම සහයෝගීතාවයන් ඉවත් කරගන්නා බවට ලැබී ඇති පැමිණිලි පිළිබඳව අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය. “පාසල් ව්‍යාපෘතිවල වියදම් පියවා ගැනීමට හානිකර ආහාර දරුවන්ට ලබා දෙනවාද, නැතහොත් 2070-2080 වසරවලදී මෙරට වයස්ගත ජනගහනය බවට පත්වන අද දවසේ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරනවාද යන්න අප තීරණය කළ යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.

මෙම ප්‍රතිපත්තිය හුදු පාසල් පද්ධතියට පමණක් සීමා නොකර සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ සිට පහළ දක්වා සියලු නිල රැස්වීම් සහ උත්සව සඳහා ද ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටිබව 10.1%ක් සහ අඩුබර තත්ත්වය 16.1%ක් ලෙස වාර්තා වේ. 2024 ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 13-17ත් අතර සිසුන්ගෙන් 70.4%ක් පසුගිය සතිය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ක්ෂණික ආහාර පරිභෝජනය කර තිබීම මගින් රටේ ආහාර සංස්කෘතියේ පවතින බරපතළ අවදානම නිරාවරණය වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ඇන්ජලා ද සිල්වා, යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිග්හැම් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් රැසක් සහභාගී වූහ.