ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරමින්, 2027 වසර වන විට දිවයිනේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි ඒකාබද්ධ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ප්‍රකාශ කරයි. මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනක සමාරම්භක අවස්ථාව අමතමින් ඇය අවධාරණය කළේ, පෙර පාසල් අධ්‍යාපනය රටේ පොදු අධ්‍යාපන පද්ධතිය සමඟ සමාන්තරව ගමන් කළ යුතු අත්‍යවශ්‍ය අංගයක් බවයි.
පෙර පාසල් ක්ෂේත්‍රය මේ වන විට අතිශය අවිධිමත් මට්ටමක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරිය, එය තවමත් විධිමත් රාජ්‍ය සේවයක් ලෙස ස්ථාපිත වී නොමැති වීම බරපතළ අඩුපාඩුවක් බව සඳහන් කළාය. විශේෂයෙන්ම ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් නොමැති වීම සහ ඔවුන්ගේ අධීක්ෂණ කටයුතු සම්බන්ධීකරණය කිරීමට නිසි අමාත්‍යාංශ ව්‍යුහයක් නොමැති වීම මෙම ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන අභියෝගයන් බව ඇය පෙන්වා දුන්නාය.
මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පෙර පාසල් විෂය මාලාවන් සහ ගුරු පුහුණු ක්‍රියාවලීන් නියාමනය කිරීමට රජය අපේක්ෂා කරයි. එමඟින් සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන පදනමක් උදා කර දීමත්, පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය තහවුරු කිරීමත් රජයේ මූලික අරමුණ වී තිබේ.