දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති සිවිල් සංවිධාන සහ මහජන නියෝජිත හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම නව පනත ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, එය කිසිදු පාර්ශ්වයක් මර්දනය කිරීම සඳහා නොව ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පමණක් භාවිත කරන බවත් ඔහු අවධාරණය කළේය.

රජය බලයට පත්ව ගතවූ වසර එකහමාරක කාලය තුළ අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය යළි ශක්තිමත් කිරීමට පියවර ගත් බව පැවසූ අමාත්‍යවරයා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සඳහා අවශ්‍ය බඳවා ගැනීම් සහ ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පෙන්වා දුන්නේය. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද, අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශන අවසන් නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් සෙවීම රජයේ දැඩි අවශ්‍යතාවක් බව හර්ෂණ නානායක්කාර මෙහිදී ප්‍රකාශ කළේය.

උතුරේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැඟීම සඳහා ඉඩම් නිදහස් කිරීම සහ මාර්ග විවෘත කිරීමේ කටයුතු මේ වන විට විධිමත්ව සිදුවෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය. උතුරේ ජනතාවට තමන් දෙවන පෙළ පුරවැසියන් ලෙස හැඟීමට ඉඩ නොතැබිය යුතු බවත්, යුක්තිය ඉටු කිරීම මගින් සහජීවනය සහ මිත්‍රත්වය ගොඩනැඟිය යුතු බවත් ඔහු සඳහන් කළේය. ජාතිවාදය සහ ආගම්වාදය වැනි කරුණුවලින් පීඩාවට පත්ව ඇති සමාජය ඉන් නිදහස් කරගැනීම පහසු නොවන මුත් ඒ වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.