ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.


මේ සඳහා අවශ්‍ය ආයෝජකයන් දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇඹිලිපිටිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙම කර්මාන්තශාලාවේ විශේෂත්වය වන්නේ කෙසෙල් කඳන් නූල් බවට පත් කර, ඒවා වර්ණ ගන්වා බතික් නිමි ඇඳුම් ලෙස නිෂ්පාදනය කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේදයයි.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කෙසෙල් කඳ කර්මාන්තශාලාවට ඇතුළත් කළ පසු එය නූල් නිෂ්පාදනය වී, සායම් වී අවසානයේ නිමි ඇඳුමක් ලෙස එළියට එන ක්‍රියාවලියක් මෙහි පවතින බවයි. එමෙන්ම එම ක්‍රියාවලියේදී ඉතිරිවන රොඩු කොටස් මගින් තවත් අතුරු නිෂ්පාදන රැසක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.