මෙරට පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ගෙන ඒම වෙනුවෙන්, ලබන අගෝස්තු මාසයේදී මෙරටට ගෙන්වීමට නියමිත නව ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් එවීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් මෙම බස් රථ ආනයනය කිරීමට නියමිතයි.

මෙම බස් රථවල තාක්ෂණික තත්ත්වයන් සොයා බැලීමටත්, ඒවා ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට ගැලපෙන අයුරින් තවදුරටත් සකස් කිරීම ගැන අධ්‍යයනය කිරීමටත් මෙට්‍රෝ ට්‍රාන්සිට් (Metro Transit) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ වන විට චීනයේ Foton කර්මාන්ත ශාලාව වෙත ගොස් සිටිනවා. එහිදී එම සමාගමේ නිෂ්පාදන ඉතිහාසය, චීනයේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම මෙට්‍රෝ බස් සැකසුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථ ආනයනය කිරීම සඳහා වන නිල ගිවිසුම පසුගිය මැයි මාසයේදී අත්සන් කර ඇති අතර, එම ගිවිසුමට අනුව බස් රථ 104ම ලබන අගෝස්තු මාසය වන විට දිවයිනට ගෙන්වා අවසන් කිරීමට නියමිතයි. මේ අතර මෙම බස් රථ සේවාවන් කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාතේ කඩවත සහ රත්මලාන යන ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා ධාවන අංගන ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට කඩිනම් කර තිබෙනවා.