පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය අත්හිටුවීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස තීරණය කර තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කර තිබූ මෙම විරෝධතාව අත්හිටුවීමට මූලිකම හේතුව වී ඇත්තේ අධිකරණය විසින් ලබාදුන් නවතම නියෝගයකි.

අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ වධහිංසාවලට ලක්ව ඇත්දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම නියෝගයත් සමඟ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති බව පවසමින් විමල් වීරවංශ සිය සත්‍යග්‍රහය නතර කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත්, මෙම සත්‍යග්‍රහය අත්හිටුවීමට තවත් ප්‍රබල හේතුවක් වූයේ එම ස්ථානයට පැමිණි මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය බව වාර්තා වේ. සත්‍යග්‍රහය පැවැති දින කිහිපය පුරාම සාමාන්‍ය ජනතාව මෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ විමල් වීරවංශ ඇතුළු පිරිසට සිය අප්‍රසාදය පළ කළහ. විමර්ශනයට ලක්ව සිටින පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ජනතාව දැඩි ලෙස ප්‍රශ්න කළ අතර, සත්‍යග්‍රහය සඳහා සහභාගී වී සිටි පිරිස ද ඉතා සීමිත මට්ටමක පැවතීම විශේෂත්වයකි.

අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සුරේෂ් සලේට එරෙහි පාස්කු ප්‍රහාර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.