අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සහ කොළඹ වරාය නගරය හරහා වීසා ලබාගත් පුද්ගලයන් අතර සෘජු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් සැලකිල්ලට ගැනීමේදී, විදේශිකයන්ගේ ආගමන විගමන කටයුතු වඩාත් දැඩි ලෙස අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව අනිවාර්ය කරුණක් බව හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ විනිවිදභාවය, මූල්‍ය වගවීම, ආගමන විගමන අධීක්ෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එසේම විදේශිකයන් 14,000ක් මෙරටට පැමිණ ඇති බවත්, එම විදේශිකයන් තවමත් මෙරට රැඳී සිටින්නේද සහ ඔවුන් ආගමන විගමන නීති හා කොන්දේසිවලට අනුකූලව කටයුතු කර තිබේද යන්න පිළිබඳව කොළඹ වරාය නගර කොමිෂන් සභාව කිසිදු පසු විපරමක් සිදු කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් වැඩිදුරටත් අනාවරණය කළේය.