2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම ඊට අදාළ ප්‍රචණ්ඩකාරී අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සුරේෂ් සලෙයිට පූර්ව දැනුමක් සහ පූර්ණ අවබෝධයක් තිබූ බවයි.
ප්‍රහාරයට සති තුනකට පෙර, සුරේෂ් සලෙයි විසින් මුස්ලිම් ජාතිකයන් සිව්දෙනකු යොදවා මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක දේව මෙහෙයන් සඳහා සහභාගී වන පිරිස ඇතුළු සංවේදී තොරතුරු රැස්කර තිබෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය. එම සිව්දෙනා අතර සිටි ප්‍රධාන පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන ඇති අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු අතුරුදන් වී තිබේ. එසේම ප්‍රහාරය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබාදුන් ඔත්තුකරු, කොළඹ හෝටලයකදී සුරේෂ් සලෙයි විසින් මුණගැසුණු බවට සාක්ෂි පවතින බවද මෙහිදී අනාවරණය විය.
අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලෙයිට අමානුෂික ලෙස සලකන බවට මෑතකදී පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පෙන්වාදුන් අමාත්‍යවරයා, සැකකරුවකුට හිමිවිය යුතු සියලුම අවශ්‍ය පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර සහ නීතිඥයන් හමුවීමේ අවස්ථාව ලබා දී ඇති බව පැවසීය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් බැලීම සඳහා මහේස්ත්‍රාත්වරයා බැලීමට ගිය අවස්ථාවේදී හෝ වෙනත් කිසිදු බලධාරියකුට අමානුෂික ලෙස සැලකීමක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කර නොමැත. රුධිරයේ සීනි මට්ටම අඩුවීම හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.
විමර්ශන කටයුතුවලට බාධාවන අයුරින් කටයුතු කරමින් සුරේෂ් සලෙයි තම ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුද්‍රිත මුරපද විමර්ශකයන්ට ලබාදීම මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, කිසිදු විරෝධතාවයකින්, උපවාසයකින් හෝ සත්‍යග්‍රහයකින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු නතර නොකරන බවත්, ලැබී ඇති විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ නීත්‍යානුකූලව මෙම පරීක්ෂණ ඉදිරියටම පවත්වාගෙන යන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කළේය.