තම කාර්යාලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ වරදක් හේතුවෙන් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි සිරගත වීමට සිදුව ඇතැයි පවසන හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ප්රකාශ කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන ‘තාක්ෂණික දෝෂය’ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුව ඇති බව යැයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමන් එම තීන්දුවට ගරු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 ව්යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා මත 37417/10 සහ 40042 යන නඩු අංක යටතේ එම නඩු පැවති බව ඔහු සඳහන් කරයි.
මෙම නඩු දෙක යටතේ උන්වහන්සේට සමාව ලබා දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශය වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතුව තිබූ බවත්, ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය ඒ බව තමන්ට දන්වා සිටිය ද අදාළ ඉල්ලීම එම අමාත්යාංශයට යවා නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි. ඒ අනුව අමාත්යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තම අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමන් නොමඟ යැවීමක් බව ඔහු පෙන්වා දෙයි.
පාක්යසෝති සරවනමුත්තුගේ රාජ්ය නොවන සංවිධානයක් මඟින් සන්ධ්යා එන්නැලිගොඩ විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම නීතිමය තීරණය ලැබී ඇති බව නිවේදනයේ සඳහන් වේ. තම නිලධාරීන් අතින් සිදුවූ මෙම වරද හේතුවෙන් උන්වහන්සේට නැවත බන්ධනාගාරගත වීමට සිදුවීම පිළිබඳව තමන් මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියි.