ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමක් සිදු නොවූයේ නම් අනෝජන් නැමැති පුද්ගලයාට සෞදි අරාබියේදී අනිවාර්යයෙන්ම මරණ දඬුවම හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය අධිකරණය හරහා විසඳාගත යුතු ගැටලුවක් ලෙස සලකා ක්‍රියාත්මක වීම හේතුවෙන් එය සාර්ථක වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මීට පෙර රිසානාගේ මරණ දඬුවම අවස්ථාවේදී එය දේශපාලනික ප්‍රශ්නයක් ලෙස සලකා කටයුතු කිරීම නිසා එවැනි ප්‍රතිඵලයක් අත්වූ බව පැහැදිලි කළ හෙතෙම, අනෝජන් බේරාගැනීමේ ක්‍රියාවලිය ජාතික සමගිය විදහා දැක්වෙන හොඳ උදාහරණයක් බවද සඳහන් කළේය.

මෙම සිද්ධියට මැදිහත් වීම පිණිස ජනාධිපතිවරයා විසින් තමන් ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනෙකුට අවසර ලබා දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර, ජාති හෝ ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම එකම ප්‍රාර්ථනාව වූයේ අනෝජන් මරණ දඬුවමින් මුදවා ගැනීම බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම එරට මහාධිකරණයේදී මෙම නඩුව ලබන 27 වන දින විභාගයට ගැනීමට නියමිත අතර, එහිදී ඔහුට එරෙහි දඬුවම ලිහිල් කරගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා වැඩිදුරටත් කියා සිටියේය.