ඉදිරියේදී දිග කොණ්ඩය හෝ ශරීරයේ පච්ච තිබීම හේතුවෙන් පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ මෙවැනි පියවරක් ගැනෙනු ඇති බව පවසන සාලිය පීරිස්, මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කරුණු දක්වා තිබේ.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) යටතේ පැවති සමහර මර්දනීය වගන්ති ‘රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත’ (PTSTA) මඟින් ඉවත් කර, ඒවා මෙම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට ඇතුළත් කොට ඇති බව ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව, පොලිසිය විසින් සුදුසු නැතැයි සලකනු ලබන දිගු කොණ්ඩය සහ පච්ච නිසා මිනිසුන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නව නීතිමය සංශෝධන සම්බන්ධයෙන් මෙවැනි බරපතළ මත පළ කරමින් සමාජය හමුවේ සැබවින්ම බිල්ලන් මැවීමක් සිදු කරන්නේ ද යන ප්රශ්නය ද මේ වන විට මතුව තිබේ.