පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා පනත් කෙටුම්පත් හෝ රටේ පවතින නීති පිළිබඳව මාධ්‍ය මඟින් අදහස් පළ කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

වත්මන් රජය කිසිසේත්ම ජනතා ද්‍රෝහී අණපනත් සම්මත කර නොගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.

යම් නීතියක් සම්බන්ධයෙන් ගැටලුවක් පැනනගින්නේ නම් හෝ යම් පනත් කෙටුම්පතක ප්‍රශ්නයක් ඇත්නම්, අධිකරණ ක්‍රියාවලියට යොමුවී ඒ පිළිබඳව ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පවතින නීතියක් පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව කතා කිරීම සමාජය හිතාමතා නොමඟ යැවීමක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් විපක්ෂයේ ඇතැම් පිරිස් බොහෝ අසත්‍ය කරුණු සමාජගත කරන බවටද චෝදනා කළේය