අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි බාලවයස්කාර අපයෝජන නඩුවේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය විවේචනය කළ ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියාකලාපය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව බීබීසී සිංහල සේවය වාර්තා කරයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් ජූනි 5 වැනිදා පැවැති මෙම රැස්වීමේදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට “කෙවිටක් අරගෙන පොලීසිය පසුපස යාමට සිදු වූ බවට” කළ ප්‍රකාශය මන්ත්‍රීවරියගේ දැඩි විවේචනයට ලක් විය. එවැනි ප්‍රකාශ මගින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් වන බවත්, එය රජයට හා පොලීසියට එරෙහිව සමාජ මතයක් ගොඩනැඟීමට යූටියුබ්කරුවන්ට ආයුධ සැපයීමක් බවත් ඇය පවසා ඇත.

මෙහිදී ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ සජීවනී අබේකෝන් පෙන්වා දුන්නේ, වින්දිත පාර්ශවයට යුක්තිය ඉටු නොවන්නේ නම් ඊට මැදිහත්වීම අධිකාරියේ ව්‍යවස්ථාපිත වගකීමක් බවයි. අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා තෙක් මසක් පුරා පොලීසිය සැකකරු අත්අඩංගුවට නොගැනීම යම් බලපෑමක් නිසා සිදුවන්නක් විය හැකි බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම, සැකකරුට ඇප ලබාදීමට පොලීසිය අධිකරණයේදී විරුද්ධ නොවූ බවට ද ඇය මෙහිදී අනාවරණය කළාය.

සාකච්ඡාවට එක්ව සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ද ප්‍රකාශ කර ඇත්තේ, ළමාරක්ෂක අධිකාරියේ කරුණු දැක්වීම් හේතුවෙන් රජය සහ පොලීසිය දැඩි අපහසුතාවට පත් වූ බවයි. මේ අතර, මෙම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට හෙළි කරන නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන බවට මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙහිදී නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

මෙම සිදුවීම පිළිබඳව ඊයේ (09) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, තමන් එම සිදුවීම සම්බන්ධයෙන් නිශ්චිතව නොදන්නා බවයි. කෙසේ වෙතත්, අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.