අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුව සඳහා බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් පැනවීමට කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය. සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. 2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ, රජයේ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් වාහන තුනක් කුලී පදනම මත ලබාගෙන රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුකිරීම සහ අදාළ වාහන හිමිකරුවන්ට අයුතු වාසි සැලසීම සරණ ගුණවර්ධනට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාවයි.

මීට පෙර 2021(ගෝඨාභය සමයේ) වසරේදී, කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් නොවීම වැනි තාක්ෂණික දෝෂ හේතුවෙන් ඔහුට එරෙහිව තිබූ නඩු 8කින් නිදහස් වීමට අවස්ථාව ලැබුණ ද, මෙවර එම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා අවධාරණය කළේ රාජ්‍ය ආයතන තුළ මුල් බැස ඇති මෙවැනි දූෂිත ක්‍රියා රටේ ආර්ථිකය අගාධයට ඇද දැමීමටත්, රට බංකොලොත් වීමටත් සෘජුවම බලපා ඇති බවයි. එමෙන්ම මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් රාජ්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බරපතළ ලෙස පලුදු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විත්තිකරුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද, විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. රාජ්‍ය දේපළ අවභාවිත කරන්නන් අධෛර්යමත් කිරීම සඳහා මෙවැනි වැරදි සම්බන්ධයෙන් දැඩි දඬුවම් පැමිණවීම අධිකරණයේ වගකීමක් බව ද මෙහිදී ප්‍රකාශ විය.