මෙරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි 2022 වසරේදී, කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මූල්‍ය සහන ලබා දුන් බව පවසමින් කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන රුපියල් කෝටි 50ක දැවැන්ත මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ සිදුවූ දූෂණ වංචා සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් මෙම පියවර ගෙන ඇත. අදාළ මුදල් සැබවින්ම ජනතාව වෙත ලැබී තිබේද, එම ගෙවීම් සඳහා අවසර ලබා දුන් නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විටත් සාක්ෂි කැඳවමින් පවතින බව කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ නගර සභාවේ ඇතැම් නිලධාරීන් දැඩි භීතියට පත්ව සේවයට වාර්තා කිරීම මඟහරිමින් සිටින බව ද වාර්තා වේ. “අපි හිතුවාට වඩා විශාල දූෂණ ජාලයක් නගර සභාව තුළ ක්‍රියාත්මක වී තිබෙනවා. රහස් පොලීසිය සහ දක්ෂ විමර්ශන නිලධාරීන් එක්ව මේ සියලු අක්‍රමිකතාවල සුලමුල සොයමින් සිටිනවා,” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙම සහනාධාර වංචාවට අමතරව, වාහන නැවැත්වීමේ අංගන සහ පොදු වැසිකිළි බදු දීමේදී සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, බලය අවභාවිතය, නීතිවිරෝධී බඳවා ගැනීම් සහ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බැලීම මෙම කොමිසමට පැවරී ඇති වගකීමයි.
හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ කටයුතු කරති. කොමිෂන් සභාවේ කටයුතු දැනට කොළඹ 03, ගාලු පාරේ පිහිටි කාර්යාලයේදී සිදු කෙරේ.