වයස අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අරනායක ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සහ එම පක්ෂයේ අරණායක ආසන ප්‍රධාන සංවිධායක අසංග දීපාල් බදුවත්ත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.

සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වූ අතර, ඒ අනුව ඔහු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

විමර්ශනවලට අනුව, සැකකාර මන්ත්‍රීවරයා මාවනැල්ල කැකිරිගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත. වින්දිත තරුණිය සිය මව සමඟ ආගමික වතාවත් සඳහා මෙම ස්ථානයට පැමිණි අවස්ථාවේදී, සැකකරු ඇයව පමණක් දේවාලය තුළට කැඳවා ගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණිය සිය මව දැනුවත් කිරීමෙන් පසු ඔවුන් මාවනැල්ල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ මාවනැල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

(Source – LankaTruth)