මහනුවර නගරය තුළ වඩාත් විධිමත්, නවීන සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ’ (KMTT) වැදගත් සන්ධිස්ථානයක් ඊයේ (27) සනිටුහන් විය. ඒ අනුව, එම මහා පරිමාණ ව්‍යාපෘතියට සමගාමීව ඉදිකළ බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට පත් කරනු ලැබීය.

නූතන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලබන දැවැන්තම බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය ලෙස KMTT ව්‍යාපෘතිය සැලකේ. නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට සහ මගී අපහසුතාවලට ස්ථිර විසඳුම් සෙවීමේ අරමුණින් මහාමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ.

අලුතින් විවෘත කරන ලද බෝගම්බර පදික උමං මාර්ගය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් 65,799,395.90 කි. මෙය මූලික වශයෙන් ඉදිකර ඇත්තේ අනාගතයේදී නිමවන ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසෙන ප්‍රධානතම ප්‍රවේශ මාර්ගයක් ලෙසය. මෙම උමං මාර්ගය භාවිත කිරීමෙන් මහනුවර නගරයට පැමිණෙන ජනතාවට අධික වාහන තදබදයෙන් මිදී වඩාත් ආරක්ෂිතව, පහසුවෙන් සහ කාර්යක්ෂමව සිය ගමනාන්ත කරා ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙම සමස්ත ව්‍යාපෘතිය නිමවීමෙන් පසු මහනුවර නගරය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන පහසුකම් සහිත නගරයක් බවට පරිවර්තනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.