පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරියේදී යතුරුපැදි ලබාදීමටත්, එළඹෙන ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට අද (26) එක්වෙමිනි. මෙම උත්සවය කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා, වත්මන් පාලනය යටතේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන එමින් පවතින බව පෙන්වා දුන්නේය. ගෝලීය වශයෙන් විවිධ අර්බුද මතු වුවද, ජනතාව මත අමතර බරක් නොපටවා ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය උපරිම උත්සාහයක නිරත වන බව ඔහු අවධාරණය කළේය.

ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී මෙම විශේෂ පුහුණුව පවත්වා තිබේ. මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සහ ක්ෂේත්‍ර නිලධාරිනියන්ගේ රාජකාරි අධීක්ෂණය කිරීමේ වගකීම මෙම නව නිලධාරිනියන් වෙත පැවරේ.

මෑතකදී ජිනීවාහි පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ බවත්, එම ගෞරවයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ දිවයින පුරා කැපවීමෙන් සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.