දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එක්වීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, විපක්ෂයේ කිසිදු අයෙකු රජයට බඳවා ගැනීමේ අරමුණක් වත්මන් පාලනයට නොමැති බවයි.

ඇතැම් දේශපාලන පාර්ශ්වයන් රජයට එකතු වීමේ ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සහිතව කටයුතු කළ ද, රජයේ ප්‍රතිපත්තිය එවැනි දේශපාලන ඩීල් (Deals) සඳහා ඉඩ ලබා දීම නොවන බව ඔහු පෙන්වා දුන්නේය. පවතින දේශපාලන සංස්කෘතියේ පිරිහීමට මූලික හේතුවක් වූ මෙම පක්ෂ මාරු කිරීමේ ක්‍රියාවලිය නීතියෙන් පාලනය කිරීම මගින් ජනවරමට ගරු කරන විනයගරුක පාලනයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බව ද නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.