ලෝක වෙළෙඳපොළේ පවතින වත්මන් මිල ගණන් සමඟ සැසඳීමේදී මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 600කට අධික මට්ටමකට පැමිණිය යුතු බවත්, පෙට්‍රල් මිල අවම වශයෙන් රුපියල් 20කින්වත් ඉහළ දැමිය යුතු බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙයි. පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉන්ධන මිල සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කරයි.

ඔහු පවසන්නේ වත්මන් රජය විසින් පොදුවේ සියලු දෙනාටම ලබා දෙන ඉන්ධන සහනාධාරය වෙනුවට, එය අත්‍යවශ්‍යම සහ ඉලක්කගත පිරිසකට පමණක් සීමා කළ යුතු බවයි. එනම්, සියලු පාරිභෝගිකයන් වෙනුවෙන් රජය පාඩු විඳීම වෙනුවට, වෙළෙඳපොළ මිලට ඉන්ධන අලෙවි කරමින් පීඩාවට පත් විය හැකි නිශ්චිත ක්ෂේත්‍ර සඳහා පමණක් සහන සැලසීම වඩාත් ප්‍රායෝගික බව ඔහුගේ අදහසයි.

පවතින තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ නොදැමුවහොත්, එය මෙරට රුපියලේ අගය තවදුරටත් පහත වැටීමට සහ උද්ධමනය ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි. සහනාධාර ලබා දීමේදී බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දීම හරහා මගී ජනතාව පීඩාවට පත්වන බස් ගාස්තු ඉහළ යාම පාලනය කරගත හැකි බව ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙමඟින් රජයේ මූල්‍ය පීඩනය අවම කර ගනිමින් රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වන බව ද ඔහුගේ විග්‍රහයේ සඳහන් වේ.