තායිලන්තයේ සිට මහා පරිමාණයෙන් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා 23 දෙනා ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු එළැඹෙන ජුනි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර නියෝග කළාය.

අධිකරණ ශාලාවේ පවතින තදබදය සහ සැකකරුවන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන, මෙම නඩු විභාගය මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පවත්වනු ලැබීය. කෙසේ වෙතත්, නඩුවේ තෙවන සැකකරු ලෙස නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නමැත්තා මුල්වරට ඉදිරිපත් කෙරෙන බැවින් ඔහු පමණක් විවෘත අධිකරණයට භෞතිකව ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබුණි.

පසුගිය අප්‍රේල් මස 25 වනදා තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි භික්ෂූන් 22 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි ගණනක් වටිනා “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයාගැනීමත් සමඟය. පසුව සිදුකළ විමර්ශනවලදී මෙම ජාවාරම මෙහෙයවූ බව කියන අමිතානන්ද හිමි සහ මූල්‍යමය වශයෙන් ආධාර අනුබල දුන් මහමුද් මොහොමඩ් නමැත්තා ද අත්අඩංගුවට ගැනුණි.

නඩු විභාගය අතරතුර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට පැමිණීමට පමා වීම පිළිබඳව මහේස්ත්‍රාත්වරිය සිය දැඩි අප්‍රසාදය පළ කළාය. “මෙය මුළු රටේම අවධානය යොමු වූ අතිශය සංවේදී නඩුවක්. නිලධාරීන්ගේ ප්‍රමාදයන් නිසා අධිකරණයට බලා සිටිය නොහැකියි,” යනුවෙන් ඇය අවධාරණය කළාය.

මෙම ජාවාරම පිටුපස සිටින තවත් ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ. ඒ අනුව, රාජා අන්වර්, මොහොමඩ් අබ්දුල්ලා ඇතුළු භික්ෂූන් කිහිපනමක් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.

ජුනි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළ භික්ෂූන් වහන්සේලා:
මාලිගාවිල ස්වර්ණාලෝක හිමි, ගල්වත්තේ සුනන්ද හිමි, මාදලේ රාහුල හිමි, ඇතිමලේ සුභෝධාලංකාර හිමි, දම්මල ගුණානන්ද හිමි, පන්නල අමරබුද්ධි හිමි, මාරඹ ජෝති රතන හිමි, හදගනාවේ නන්දරතන හිමි, දෙමටනාවේ මහානාමතිලක හිමි, පොතුපිටියේ සමිත හිමි, මහවඩුගේ සද්ධානන්ද හිමි, නිකපොත සුමනරක්ඛිත හිමි, වාහල්කඩ අරියරක්ඛිත හිමි, රණාලේ ඤාණතුසිත හිමි, හිදිගහවත්තේ සීලරතන හිමි, නුගගොල්ලේ පවරසිරි හිමි, ලුණුගම්වෙහෙරේ වේළුසුමන හිමි, ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි, සියඹලාපේ අමිතරංසි හිමි, අකුරැස්සේ ජිනරතන හිමි, රිදීඇල සුමනරතන හිමි, බුල්ගල්ලේ ජිනානන්ද හිමි සහ අගුණකොලේ අමිතානන්ද හිමි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් කරුණාරත්න ඇතුළු මඬුල්ලක් පෙනී සිටි අතර, වැඩිදුර විමර්ශන වාර්තාවක් ජුනි 09 වනදා ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියම විය.