කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය නයාර් නසීර් අතර විශේෂ හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව සහාය වීමට පකිස්තානය සූදානම් බව මහකොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය. “පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම කෘෂිකාර්මික පදනමක් සහිත රටවල්. අපට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරගැනීමේ විශාල හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම පකිස්තානය සත්ත්ව නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදනය අතින් ලෝකයේ පස්වන ස්ථානයේ පසුවන රටක්. එම අත්දැකීම් සහ තාක්ෂණය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට අප කැමැත්තෙන් සිටිනවා,” යැයි ඔහු පවසා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, පකිස්තානය මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන ආ සමීප මිත්‍රත්වය කෘතවේදීව සිහිපත් කළේය. පකිස්තානය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට බලපෑම් කර නොමැති බවත්, දේශපාලන වාසි අපේක්ෂාවෙන් තොරව සැමවිටම සහාය දක්වා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී මෙරට කෘෂිකාර්මික පුනර්ජීවනය උදෙසා පකිස්තානය දක්වන මෙම කැපවීම අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.